මතු සම්බන්ධයි – 01
‘‘ අන්න අම්මා එනකොට කවුද ගහලලූ. බලා හිටියට අද නම් අම්මා එන එකක් නෑ.’’ මම ගැස්සිලා ගියා. ඒත් එක්කම බෝලෙක් කන්දට අකුණු ගහනවා වගේ මගේ හිත වේදනාවෙන් විදුලි කෙටුවා. මාව බය ගන්නන්න සුදු මාමා කියන්නෙ බොරු කියලා දැන දැනත් මම අහේතුකව බය වුණා.
‘‘ බොරු කියන්න එපා අප්පො. අම්මා මග එනෝ.’’
බෝගල පතලේ මිනිරන් ඇහිදපු අපේ අම්මා මහවෙල ඉහත්තාවෙන් තිතක් වගේ හැමදාම මතුවෙනකම් මම බලන් ඉන්නෙ පුරුද්දට. හැන්දෑවට වැට දිගේ පිපෙන හෙන්දිරික්කා මලූත් අම්මගේ පතල් කෑමට පෙරේතකම් කළ බෝලයත් මට තනි රැක්කා. බෝගල පතලේ ඉදලා වැලි කන්ද බැහැලා දෙවැට පාරෙන් මහ පාරට ඇවිත් ගෙදර එන අම්මා මහවෙල ඉහත්තාවෙන් පේන්න ගන්නකන් මට තිබුණෙ පුදුම නොයිවසිල්ලක්. ඒ කාලේ හැන්දෑවේ හතර වෙනකන් ඔර්ලෝසු බට්ටත් කැරකුණේ හෙමින්ද කොහෙද. ඉස්කොලේ ගිහින් ඇවිත් යට කලිසම පිටින් හතර දිග්බාගේ කරක් ගහලා එන මගේ හිතයි ඇගයි ඒකාත්මික වෙන්නේ හැන්දෑවේ හතරට. ඒ අම්මා එනකන්.ඉදලා හිටලා අක්කෑඅම්මත් එක්ක දරට ගිය වෙලාවක නම් අම්මා මට කළින් ගෙදර ඇවිත්. එතකොට ‘‘ ළමයෝ ළමයෝ’’ කියලා කෑ ගහලා බැරිම තැන ‘‘ මැණිකෝ මැණිකෝ’’ කියලා උච්ච ස්වරයෙන් කෑ ගහන සද්දෙ අක්කෑඅම්මයි මමයි දර අහුලන කන්දෙවත්තටත් ඇහෙනවා. එතකොට අක්කෑ අම්මා බූ මෑ වැල් ටිකක් විගහට එක්කහු කොරං දර මිටි පොඩිත්තක් බැදලා දෙනවා.ඒක අමාරුවෙන් උස්සන් ඇවිත් බැම්ම උඩ ඉදන් අපේ වත්තට විහි කරන කොට අම්මා කුස්සිය පැත්තෙන් එබිලා බලනවා. දරමිටිය දැක්කම අම්මගේ ඇස්වල ලා රතකුත් එක්ක ඇදන දයාව මට අරන් ආවේ ලොකු ආඩම්බරයක්.
මම නිකන් එදාට ගෙදර ඉන්නේ බොරු අමාරුවකුත් අරන් එතකොට මගේ දර මිටියට සෑහෙන සැලකිල්ලකුත් මට හම්බෙනවනෙ. ඒ කියන්නෙ සීනී ටිකක් වැඩිපුර දාල මගෙ බෙලෙක් කෝප්පෙන් බාගයක තේ එකක්. ඒකත් අරන් කඩුල්ල ලග මිටි බංකුවේ වාඩි උනාම ගේ ඉස්සරහ වෙල් යායේ හැන්දෑවේ හයේ කොක් මීටිමයි අඹුවක්කෙ කදු පිටිපස්සෙන් ගෙදර යන ඉරේ පාටයි මගේ හිතේ අපූරු හැඩතල මැව්වා. මගේ කවිකම් වලට අකුරු කියෙව්වේ මේ ගහ කොළ එක්ක. අද මේ ලියන හැම අකුරකම අයිතිය තියෙන්නේ මේ පරිසරේට.
ඉරට හදට තරුවලට
හිනාවෙන ගහ කොළට
නිල් කදු යායෙන් බිමට
අත වනන නිල් ගොයමට
වී කරුල්ලන්ට කිරල්ලුන්ට
නිල් ගිරව් රූනට
ගී කියන වැස්සට
ආදරෙ කී මගේ ළමා විය
- අනූ
මතු සම්බන්ධයි












