මතු සම්බන්ධයි – 01

‘‘ අන්න අම්මා එනකොට කවුද ගහලලූ. බලා හිටියට අද නම් අම්මා එන එකක් නෑ.’’ මම ගැස්සිලා ගියා. ඒත් එක්කම බෝලෙක් කන්දට අකුණු ගහනවා වගේ මගේ හිත වේදනාවෙන් විදුලි කෙටුවා. මාව බය ගන්නන්න සුදු මාමා කියන්නෙ බොරු කියලා දැන දැනත් මම අහේතුකව බය වුණා.

‘‘ බොරු කියන්න එපා අප්පො. අම්මා මග එනෝ.’’

බෝගල පතලේ මිනිරන් ඇහිදපු අපේ අම්මා මහවෙල ඉහත්තාවෙන් තිතක් වගේ හැමදාම මතුවෙනකම් මම බලන් ඉන්නෙ පුරුද්දට. හැන්දෑවට වැට දිගේ පිපෙන හෙන්දිරික්කා මලූත් අම්මගේ පතල් කෑමට පෙරේතකම් කළ බෝලයත් මට තනි රැක්කා. බෝගල පතලේ ඉදලා වැලි කන්ද බැහැලා දෙවැට පාරෙන් මහ පාරට ඇවිත් ගෙදර එන අම්මා මහවෙල ඉහත්තාවෙන් පේන්න ගන්නකන් මට තිබුණෙ පුදුම නොයිවසිල්ලක්. ඒ කාලේ හැන්දෑවේ හතර වෙනකන් ඔර්ලෝසු බට්ටත් කැරකුණේ හෙමින්ද කොහෙද. ඉස්කොලේ ගිහින් ඇවිත් යට කලිසම පිටින් හතර දිග්බාගේ කරක් ගහලා එන මගේ හිතයි ඇගයි ඒකාත්මික වෙන්නේ හැන්දෑවේ හතරට. ඒ අම්මා එනකන්.ඉදලා හිටලා අක්කෑඅම්මත් එක්ක දරට ගිය වෙලාවක නම් අම්මා මට කළින් ගෙදර ඇවිත්. එතකොට ‘‘ ළමයෝ ළමයෝ’’ කියලා කෑ ගහලා බැරිම තැන ‘‘ මැණිකෝ මැණිකෝ’’ කියලා උච්ච ස්වරයෙන් කෑ ගහන සද්දෙ අක්කෑඅම්මයි මමයි දර අහුලන කන්දෙවත්තටත් ඇහෙනවා. එතකොට අක්කෑ අම්මා බූ මෑ වැල් ටිකක් විගහට එක්කහු කොරං දර මිටි පොඩිත්තක් බැදලා දෙනවා.ඒක අමාරුවෙන් උස්සන් ඇවිත් බැම්ම උඩ ඉදන් අපේ වත්තට විහි කරන කොට අම්මා කුස්සිය පැත්තෙන් එබිලා බලනවා. දරමිටිය දැක්කම අම්මගේ ඇස්වල ලා රතකුත් එක්ක ඇදන දයාව මට අරන් ආවේ ලොකු ආඩම්බරයක්.

මම නිකන් එදාට ගෙදර ඉන්නේ බොරු අමාරුවකුත් අරන් එතකොට මගේ දර මිටියට සෑහෙන සැලකිල්ලකුත් මට හම්බෙනවනෙ. ඒ කියන්නෙ සීනී ටිකක් වැඩිපුර දාල මගෙ බෙලෙක් කෝප්පෙන් බාගයක තේ එකක්. ඒකත් අරන් කඩුල්ල ලග මිටි බංකුවේ වාඩි උනාම ගේ ඉස්සරහ වෙල් යායේ හැන්දෑවේ හයේ කොක් මීටිමයි අඹුවක්කෙ කදු පිටිපස්සෙන් ගෙදර යන ඉරේ පාටයි මගේ හිතේ අපූරු හැඩතල මැව්වා. මගේ කවිකම් වලට අකුරු කියෙව්වේ මේ ගහ කොළ එක්ක. අද මේ ලියන හැම අකුරකම අයිතිය තියෙන්නේ මේ පරිසරේට.

ඉරට හදට තරුවලට

හිනාවෙන ගහ කොළට

නිල් කදු යායෙන් බිමට

අත වනන නිල් ගොයමට

වී කරුල්ලන්ට කිරල්ලුන්ට

නිල් ගිරව් රූනට

ගී කියන වැස්සට

ආදරෙ කී මගේ ළමා විය

- අනූ

මතු සම්බන්ධයි

නුඹ මම සහ ඇය


සද මම වුව
මුවාවෙමි වළාකුලකට රැය
සිපගන්න ඔබ ඔබෙ මල

රෙදි නැන්දාට ලියූ කවි


මංගල යහන හීනෙන් දුටු පින පමණ
ඒ මල් යහනෙ සැතපුණ පිරුවට ගණින
සුදු රෙදි කඩක අමුණාලා නුඹෙ සුසුම
රිටි ගහ ඔයේ පා කෙරුවද ගිය දවස

කච්චි පිටින් රෙදි සේදූ පින් කදට
අදින්නට එකම ඇදුමක් හිමි වුණි කොහොම
දුක පොදි ගසා හිනැහෙන කොට නුඹ තුටින
රිටි ගහ ඔයට විසි කෙරුවද ඇස කදුල

ගෙන් ගෙට ගොසින් උඩු කොට වියන් බැන්දාට
පා වඩ එළා කවුරුත් පිළිගත්තාද
පෑළ දොරින් දොරකඩ වෙත කැන්දාන
අත තැබුයේ අනුන්ගෙ පව් පොදි නේද

කිරි කල හතක් නාවාලා ගෙට ගත්ත
මල්වර කුසුම් පෙති හැඩ කල සමනළිය
පාට අරුංගල් පමණක් හිමි වුණිද
ඒසද නුඹේ කන්පෙති නොපිපුණෙ මන්ද

ගෙවුණ වසන්තයෙ රොන් ගත් බඹරින්දු
කුල මල කියා මල් කෙමි අග විස රැන්දු
නොගැයුණ කලට නැවතත් ඒ ගී සින්දු
හීන වලට තනි යහනේ මන බැන්දු

කෙට්ටු අතින් මිට මොලවා දුක් ගින්න
රිටි ගහ ඔයේ දිය කිදුරිය නුඹ නේද
අනුන්ගේ කිලුටු පව් සේදූ පිනට
මතු අත් බවේ ඉපදීයන් රජ ගෙදර

මුරුගන් හිරබාරයට ගැනීම

නන්දි කොඩිය බිම වැටිලා ඇත   දෙයියෝ
කෝවිල් බිමත් අද පාලූයි නැත    දෙයියෝ
වැන්ද බිමේ හිමි  කොහි නුඹ      සැගවීදෝ
කාකි අදුරු ඇදුමට       හිමි         බිය වීදෝ

මුරුගන් සිටී  හිරබාරේ කෑම්ප්  එකේ
කම්බි කඩා හිමි නිදහස් කරව්     සකී
කහ වතුරෙන් බිම නහවා හිදිව්   සකී
කපුරු පහන් දල්වාපන්   නිවා    ගිනී

ඉරණමඩු වැවේ දිය වුණු        කදුලු කැටී
කනකාඅම්බි අම්මන් දෙවි  නොදුටු   සැටී
විමානයත් අහිමිව ගිය කදුලු             වැටී
උපන් බිමේ අපි අසරණ වෙලා          සිටී

මල්ටි බැරල් ෂෙල් වෙඩි හඩ     මැද්දේ
උපන් ගෙයි හීන කවුදෝ ගිනි     තිබ්බේ
නොඇසුණත් එළියට  වැලපිලි    සද්දේ
හදවත හඩයි මර හඩ දී හිත       පත්ලේ

සහසක් වසක් සිටියත් නෑ       යළි එන්නේ
මදහස් නගන්නට බෑ තවමත්   සැනසීමෙන්
උදහස් වෙන්න කළියෙන් හිමි   ඉවසීමෙන්
නිදහස් කරව් අපෙ මුරුගන්      හිරබාරෙන්

නිමිත්ත: පසුගිය දිනෙක කිළිනොච්චියේ කෝවිලක පැවති ආගමික උත්සවයකට කඩාවැදුණ රජයේ හමුදාව ඔවුන්ගේ ආගමික සංකේතය වූ නන්දි කොඩිය ගලවා ගෙන ගොස් තිබුණි. එමෙන්ම දෙමළ ජනතාවගේ උරුමයක් වූ ඉරණමඩු වැවේ බාරකාර කනකාඅම්බි අම්මන් දෙවියන් වෙනුවට රජයේ හමුදාව එහි බුදු පිළිමයක් ගෙන ගොස් තබා ඇත. මේ කවි සිය හඩ අහිමි වූ උතුරේ ඒ දෙමළ ජනතාව වෙනුවෙනි.

තනිකඩය තවම මම


විද්ද මල් හීය අරගෙන නුඹ එන්න
ඉද්ද ගස්වල සුවද හෙමිහිට සිපගන්න
සද්ද නැතුව මගේ ඇස් වල තැවරෙන්න
නැද්ද රන්මලී ආයෙත් ගම එන්න

හිනාමල් පොකුරු අරගෙන සිල් බින්ද
අතැගිලි ලෙහී  හිත පෑරු දුක් කන්ද
කදුලූ මහමෙරකි  සෝ ලතැවුල් වින්ද
සොදුර නුඹ නේද  මගෙ කවි පද බින්ද

සැතපෙන යහනෙ කටු ඇනිලා රිදුණාද
සුවදෙන හදවතේ දුක් ගිනි ඇවිලූණිද
ඇසිපිය හෙළාවත් යන්නට එන්නැද්ද
පතිදම් රකින නුඹෙ හිත බර වැඩි නැද්ද

බලන් සකි සද – අපේ මහ රජ

රජ මිදුලේ මාලිගයේ බලු කපුටෝ සැරිසරති
ඉදුල් කකා අත් ලෙව කා තඩි බඩවල් පිරිමදිති
එහෙයි හිමියෙනි එහෙමයි දෙකට නැමි හිස නමති
අනේ සාදු අනේ සාදු මෙ සිරිලක සවි සිරිනි

පර දෙමළා නැසු එකා
ආං අපේ මාර රජා
තව එක මාරුවක් තකා
සා වසරක් හිදිති පතා

මා වැනි බිළින්දා
පිට පාරෙන් කැන්දා
හීන දුන් හින්දා
මෙවැනි නිරිදෝ වෙන කොයින්දා

නාද තොරණ් කවි වරුණා
ගජසෙන් බැද පුර සරණා
නාද කරව් තෙජ බල කද
පාද වදිව් අපෙ මහ රජ

අප වැනි නරයෝ
තව තව ඇද්දෝ
බඩ පිට ඇලුණෝ
තොල කට සිදුණෝ
නෑ කිසි පරහා
මෙ දෙවි දෝසා
මෙ දෙවි දෝසා

ගම්මඩු නටලා බලියක් අඹලා
සෙත් කවි කියලා දෝස මකාලා
සෙත් දෙව් සෙත් දෙව්
අප මහ නිරිදා
දිගු කල් වැජඹෙ
දිගු කල් වැජඹෙ

සරණයි සරණයි
මහ රජු සරණයි

වසන්තය

රස කතා මුදු සිනා දෙතොල් මත ඇද තියා
සරා සදත් අද රූට හිනැහේය මා එක්ක
සිනිදු සුදු මල් පෙත්ත පාව විත් දෑල මත
ගී පදත් ගැලපුවා අරුත් පිරි කවියකට

සුදට සුදේ සුදු ඇට්ටේරියා මල් පිපුණ
සුවද ගෙන කිරිල්ලක් නික්මුණා තැනි බිමට
එතී එතී හදවතේ කිතිකැවෙන නුහුරු රස
ඇගිලි තුඩු අගින් ගෙන පැටලේවී නෙත් අගට

සුසුම් මල් පිපෙනවා   සුවද දී  යායටම
කෝකිලයෝ ගී ගයති බක් මහේ සාදයට
කැදැල්ලක් නැතත් හෙට කූඩු වන්නට එකට
තුඩින් තුඩ තබා ගී ගයාවි හදවතට

අම්මයි මමයි

බර අඩි තියා මහ වැහි වහින්නේ
කලූකරගෙන කොළඹ අහස
අද හවසත් හඩන්නේ……
අකුණු සරින් ගැහෙනා හිත
එකාතකින් මිට මොලවා
සබ්බසකලමනාව ගෙන
දුවන්නට හිතයි අම්මේ
පෙර දා සේ නුඹ තුරුළට…..

ඉරට මුවා වී නිල්           ඇස් රිදෙන්නේ
ස`දට මුවා වී             හදවත හඩන්නේ
මලට මුවා වී බඹරුන් රෝන් උරන්නේ
හිතට මුවා වී ලෝකය     පෙනෙන්නේ

පැලේ පිලේ ඉපනැල්ලට
හුරු වූ සුන්දර හදවත
දෙකට තුනට පොඩි කරන්න
ඇයි අම්මේ කොළඹ රටේ
මේ ඇත්තො පුරුදු වුණේ…

ඉස්සර වගේ නුඹත් එක්ක
හන්දෑවට මල් නෙලන්න
ගුරු පාරේ එකට යන්න
ඉදහිටලා මතක් වෙද්දී
ඹෆිස් එකේ වැඩ පිරිලා
ඉර හාමි තරහා වෙලා

නුඹෙ දෙවුරේ හිසගසාන
ඇති වෙනකම් මට හඩන්න
අම්මේ මම ගම එන්නම්
එපා එපා වැඩි විස්තර
පුංචි දෝණි සනසවන්න

සිහිනයකි නුඹ

ඔබ බලන්නට එන්න සිතුනා
පුරුදු සුවදක් සිතට දැනුනා
දෑස් අග මුදු කදුලු ගැලුවා
සද අමාවකදැයි සිතුනා…

මහමෙරක් පෙම් බැන්දා
සද තරු රැයට ගී ලිව්වා
ජීවිතේ බර දරාගන්නට
දිනෙක නුඹ එතැයි සිතුවා

දිනෙන් දින නුඹ දුරස් වූවා
අපේ ඇතැගිලි ලෙහී වැටුණා
සැබෑ නොවෙනා සිහින අතරෙ
නුඹෙ මතකය සිතේ ඇදුණා

දේදුණු ගීතය

 

හිරු කුමරු ඇන්දාද නිල් අහසේ දේදුන්න
කවුරුදෝ ලීවාද මෙ ගැයෙන පෙම් ගීත
නෙතු පියන් යට ඇදුන හීනයේ හිනැහෙන්න
කුමරුනේ කොහි සිට.. ආවද මගෙ හිතට

රැ අහසේ සදවතිය එපා නුඹ හිනැහෙන්න
තරු කැකුලු එපා මට ඔච්චමට ඉගිපාන
අවසානයක් නැති පේ‍්‍රමයක් තුන් හිත ඇදුන
අහිංසක පෙම්බරී මම නුඹෙ හිත ගත්ත

ගිනිගන්න දහවලේ විඩාබරව ගිය හිතට
සද සිසිල තුරුලු කොට දෝතින්ම මට දුන්න
නමුණුකුල ගිරිහිසේ ගී ගයන කුරුලු තුඩ
කිරිල්ලක් තනීවෙවී කැදැල්ලක් නැතිදාට

Follow

Get every new post delivered to your Inbox.